විරහව හා සියදිවිනසා ගැනීම්
ආදරය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඊට ලැබෙන පිළිතුරු එකිනෙකාට වෙනස්ය.තවත් කෙනෙක්ට ආදරය ආත්මාර්ථකාමී හැඟීමක් වෙද්දී තවත් කෙනෙක්ට ඒ ආදරයම පරිත්‍යාගයක් වෙන්න පුළුවන්.විවිධාකාර වූ ආදරයන් අතර ලෝකය ලස්සන කරන සුන්දර ආදරයක් තමයි තාරුණ්‍යය ආදරය.තාරුණ්‍යය කියන්නේ සැබැවින්ම බොහොම දඟකාරි සුන්දර කාලයක්.මේ ආදරයම ඔවුන් වටා පාරාවළල්ලක් වෙමින් තරුණ ජීවිත සියදිවි හානිකර ගැනීමට පෙළඹීම ඛේදවාචකයකි.
සමාජ සංස්කෘතියට සාපේක්ෂව ආදරය හැඩගැසීම සිදුවේ.ආසියාතික සමාජයට සාපේක්ෂ ව බටහිර සමාජය තුළ ආදරය වෙනස් හැඟීමකි.බටහිර සමාජයේ පෙම්වතුන්ට ආදරය සැහැල්ලු හැගීමක් වෙද්දී ආසියානු සමාජයේ පෙම්වතුන්ට ආදරය තමන්ගේ මුලු ජීවිතේම බවට පත්ව ඇත.අප සමාජයේ ආදරයේ පාරිශුද්ධතාවය පිළිබද දීර්ඝ ප්‍රේම කතා ලියවෙයි.ඒවා ඇතුළත සිටින පෙම්වතුන්ට අහිංසක ආදරණීය හැගීම් ආරෝපණය කර ඇත.තරුණ තරුණියන් අතරේ මේ ආදරය හුදෙක්ම හිමිකරගැනීමක්ය යන ප්‍රතිරූපය එතනින් නිර්මාණය කර ඇත.මෙය ආසියාතික සමාජයේ පෙම්වතුන්ගේ මූලිකම ලක්ෂණයකි.එමෙන්ම ලංකාවේ සමාජ සංස්කෘතිය තුළ තරුණිය තරුණයාගෙන් කැමැත්ත ඇසිමට මුලින්ම පෙළඹෙන්නේ නැත.ආදරයේදී ස්ත්‍රීය පෙරමුණ ගැනීම අප සමාජය තුළ බරපතල වරදක් ලෙස දකී.
ආසියාතික සමාජය නවීකරණය කරා ගමන් කළත් විසිඑක්වන සියවසේ හිනිපෙත්තේ සිටියත් අභිචාර විධිවල වෙනසක් සිදු වී නොමැත.ආදරය යන සංකල්පයේදි අදටත් සාම්ප්‍රදායික රටාවට මුල්තැන දීම දක්නට ලැබෙන පැහැදිලි කරුණකි.ඊට හේතු වී ඇත්තේ භෞතික සංස්කෘතියට සාපේක්ෂව අභෞතික සංස්කෘතිය වෙනස් නොවීමයි. සාම්ප්‍රදායික සමාජය තුළ සංස්කෘතිමය සිරිත් විරිත්වලින් සමාජයෙහි යම්කිසි ආකාරයක පාලනයක් නිර්මාණය වීම දක්නට පුළුවනි.උදාහරණයක් වශයෙන් තරුණියකට තරුණයකු මුණ ගැසී කතා කිරීමට පැවතුනේ සීමිත නිදහසකි.වක්‍රාකාර අවිධිමත් සමාජ උපක්‍රම හරහා තාරුණ්‍යය යම් පාලනයක රැදවීමට එදා සමාජයට හැකියාව ලැබිණි.එම හේතුව මත ආදරය යන සංකල්පයේ රාගය මිශ්‍ර වූ අවස්ථාවන් ඉතා අවම විය.
මෙහිදී මතුවන ප්‍රබල ගැටලුව නම් ලිංගික අධ්‍යාපනයේ අවම බවයි.වැඩිවියට පත්වීමත් සමග ඇතිවන කායික මානසික වෙනස්කම් පිළිබඳ ඔවුන්ට පවතින්නේ අවම අවබෝධයකි.වැඩිවියට පත්වීමත් සමග දැනෙන හැඟෙන සිතුවිලි ආකල්ප පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැති වීම මත ඔවුන් ආදරයෙන් නිතැතින්ම වල්මත් වීම හා අතරමං වීම සාමාන්‍ය තත්වයකි.වත්මන් තාරුණ්‍යයේ ආදරය සියදිවි නසා ගැනීමට තරම් සාහසික තත්වයට පත්ව ඇත.මෙය පැහැදිලි ලෙස කායික මානසික සුරක්ෂිතතාවය අහිමි වීම හා සමාජ සම්බන්ධතා බිඳවැටීමෙහි ප්‍රතිඵලයකි.ආසියාතික සමාජයේ පෙම්වතුන් ඇත්ත ජීවිතයේ කිරීමට අපහසු දේ පිළිබඳ තෘප්තිමත්භාවයට පත්වන්නේ සිහින තුළ ජීවත් විමෙනි.ඔවුන් තුළ ප්‍රේම සම්බන්ධතාවයෙහි අවිනිශ්චිත බව පිළිබඳ කිසිදු හැගීමක් නැත. පෙම් සබඳතාවය බිද වැටුණහොත් කරකියා ගත හැකි කිසිවක් ඔවුනට නැතිවීම ස්වභාවිකය මෙහි ඇති ඛේදනීය තත්වය නම් එවැන් අවස්ථාවක ඒ පිළිබඳ කතා කරන්නට විසදුම් දෙන්නට කෙනෙකු ඔවුන් අසල නොමැති වීමයි.යමෙකු ගැටලුවට විසඳුම් නොදුන්නද තම දුක වේදනාව අසා සිටීම පමණක්ම එම පුද්ගලයා හට යම්කිසි සහනයක් නිතැතින්ම හිමිවෙයි.
පවතින තරගකාරි සමාජ ක්‍රමය ඇතුළත කෙනෙකුට තවකෙකු වෙනුවෙන් වැය කරන්නට කාලය නොමැති වීම අතිශය ඛේදනීය කරුණකි. සංකීර්ණ සමාජ සබඳතා ඇතුළත තාරුණ්‍යය සැහැල්ලුව අත් විඳින්නේ තම ආදරය තුළිනි.එය අහිමි වීම ඔවුන්ට තවදුරටත් මානසික සුවය පිළිබඳ අපේක්ෂාවන් තබාගැනීමට නොහැකි තත්වයක් උදාකරයි.
සැප්තැම්බර් 10 වෙනි දිනට ලෝක සියදිවි නසාගැනීම් වළක්වාගැනීමේ දිනය යෙදි පවති.
තාරුණ්‍යය ස්වභාවයෙන් ම ආවේගශීලී වේ.ඔවුන් ඕනෑම අවස්ථාවක ක්ෂණිකව තිරණ ගැනීමට පෙළඹෙයි.නූතන තරගකාරි සමාජ රටාව තුළ ඔවුන් ක්ෂණික සියදිවි නසාගැනීමට යොමුව පවතී.මෙවැනි අවස්ථාවක රටක මාධ්‍යයට පැවරී තිබෙන වගකීම සුළුපටු නැත.ආදරය අහිමි වීම මූලික කරගෙන සියදිවි නසාගත් සිදුවීම් මාධ්‍ය තුළින් උලුප්පා පෙන්වීම අද විලාසිතාවක් වී ඇත.එයින් සිදුවන්නේ සමාජයේ අනෙක් තරුණ තරුණියන්ට එය සාමාන්‍ය කරුණක් බවට පත් වීමයි.එම සිදුවීම් වාර්තා කිරීමේදී සිය දිවි නසාගත් ක්‍රමය විස්තර නොකළ යුතු මෙන්ම මාතෘකාව සදහාද එම ක්‍රමය නොයෙදිය යුතුය.එමෙන්ම සියදිවි නසාගත් ආකාරය පෙන්වන ඡායාරූප ප්‍රදර්ශනය නොකළ යුතුය. . සියදිවි නසාගැනීම් ප්‍රශ්නවලට විසදුම් වශයෙන් හුවා දක්වමින් වාර්තාකරණයද නොකළ යුතුය. සියදිවි නසාගැනීමේ ක්‍රියාවලියට හෝ පුද්ගලයාට වීරත්වයක් නොදිය යුතුය. එමෙන්ම මියගිය පුද්ගලයාගේ නෑදෑයින්ගේ මානසික තත්ත්වය සහ ඔවුන් අපහසුතාවයට පත් නොවන ලෙස පුවත් වාර්තාකරණයට මාධ්‍ය වගබලා ගත යුතුය.
ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් වශයෙන්ද සියදිවි නසාගැනීම වැළැක්වීම පිළිබදව අවධානය යොමුකිරීම කාලෝචිත තත්ත්වයකි. එයට හේතුව රටක් වශයෙන් අප රටටද මෙම සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවය තර්ජනයක් වී තිබීමයි. අප රටේ සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවය පිළිබදව අධ්‍යනය කිරිමේදී 1995 වසරේදී මුළු ලෝකයෙන්ම පළමු ස්ථානයට සියදිවි නසාගැනීම් වාර්තා වූයේ ශ්‍රී ලංකාවේ බව දක්වන්නේ කණගාටුවෙනි එනම් 1995 වසරේදී දිනකට සියදිවි නසාගැනීම් 25ක් වාර්තා විය. මෙය ලක්ෂයකට 47ක ප්‍රවණතාවයකි. මෙම තත්ත්වය එකල බොහෝ ගැටලුකාරී තත්ත්වයක් විය. නමුත් 2018 වසර වන විට මෙය බෙහෙවින් අඩු වෙමින් දිනකට සියදිවි නසාගන්නා ප්‍රමාණය 8ක් දක්වා අඩුවී ඇත. මෙය ලක්ෂයකට 15ක ප්‍රවණතාවයකි.
මෙම සියදිවි නසාගැනීම් සදහා වැඩි වශයෙන් හේතු වූයේ ගෙල වැළලා ගැනීම්, කෘමි නාශක සහ වල් නාශක ආදිය පානය කිරීමයි. මෙම ගැටලුවට පිළියමක් වශයෙන් එකල රජය විසින් භයානක පළිබෝධ නාශක 04ක් තහනම් කරන ලදී. ඒ අනූව සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවය 50%කින් අඩුවිය. සංඛ්‍යාලේඛණ වාර්තා වලට අනූව අප රටේ දිනකට 08 දෙනෙකු සියදිවි නසාගන්නා විට දස දෙනෙකු සියදිවි නසාගැනීමට තැත් කරයි.
කෙනෙකු සියදිවි නසාගත් අවස්ථාවක එම පුද්ගලයාට සමීප අනෙක් පාර්ශවය වෙත ඇගිල්ල දිගු කිරීම අද සමාජයේ බහුලව දැකිය හැකිය. මෙය අතිශය වැරදි ක්‍රියාවකි. එමෙන්ම මෙලෙස සිදුවන තවත් වරදක් වනුයේ සියදිවි නසාගැනීමට තැත්කල පුද්ගලයෙකුගෙන් ඇතැම් පාර්ශව වැරදි ලෙස ප්‍රශ්න කිරීමයි. එමෙන්ම රෝහල් කාර්යය මණ්ඩල විසින් මෙවැනි පුද්ගලයින්ට බැණවැදීම්, අපහාසයට ලක්කිරීම් ආදිය නිසා මොවුන්ට ජීවිතය තවත් එපා වෙන තත්ත්වයකට පත්වෙයි. මොවුන් හට සමාජයට මුහුණ දීමට අසීරු තත්ත්වයක්ද උද්ගත වෙයි. මෙවැනි අවස්ථාවක අදාල පුද්ගලයා හට මනෝ උපදේශනයක් ලබාදීම ඉතාම වැදගත් වෙයි.මෙසේ ප්‍රේම සම්බන්ධතා බිදවැටීම්, මානසික රෝග ආදිය සියදිවි නසාගැනීම් සදහා ඉතා විශාල වශයෙන් හේතු වෙයි. හිතේ දුකක් ඇතිවූ අවස්ථාවක, සියදිවි නසාගැනීමට සිතුණු මොහොතක වෛද්‍යවරයෙකු වෙත එය පවසා උදවු ලබාගැනීම ඉතාම වැදගත් වෙයි.මෙලෙස මානසිකව පීඩනයට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් උපකාරක සේවය (Help Line)1926 අංකය පැය 24ම සක්‍රීයව පවතී. මෙමගින් සිංහල දමිළ සහ ඉංග්‍රීසි යන ඕනෑම මාධ්‍යයකින් දුරකතන ඇමතුම් ලබාගත හැකි අතර වෛද්‍යවරුන්ද සම්බන්ධ කරගත තම ගැටලු ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත. මෙය සම්පූර්ණයෙන්ම නොමිලයේ ඇමතිය හැකි සේවාවකි. මෙලෙසම 1333 අංකය මනෝ උපදේශන සේවාව ලබාගත හැකි අංකයකි. ලංකා සුමිත්‍රයෝ පදනම ඔස්සේද මෙවැනිම වූ උපදේශන සේවාවන් 0112696666 අංකය හා 0112683555 අංක ඇමතීම මගින් ලබාගැනීමේ හැකියාව පවතී.
ප්‍රථම පෙම විවාහා කරගත යුතුයි යන සිතුවිල්ල ආසියාතික සමාජයෙන් අපට හිමිව පවතින්නකි.නමුත් විය යුතු වන්නේ එය ඔවුන් අතර ඇති නොගැලපීම් ගැටලු දෙදෙනා විසින් මනා ලෙස අවබෝධ කරගෙන වෙන් ව යාමයි.එමගින් තරුණ ජීවිතවල පමණක් නොව සමස්ත සමාජය තුළ උද්ගත ව ඇති ඛේදනීය තත්වය වළක්වා ගැනීමට හැකියාව උදාවේ.
ඇතැම් අවස්ථා වල ඔවුන්ට සවන් දීමට කෙනෙකු නොසිටිය හැකිය. මෙවන් තත්ත්වයක් පිළිබදව ඔබට හැගුණහොත් මදක් නැවතී විනාඩියක් ඔවුන්ට සවන් දෙන්න. තමන්ට හැකි පමණින් ඔවුන්ගේ මනස නිරවුල් කරගැනීමට උදවු වන්න. එම කෙටි කාලය තවත් ජීවිත හානියක් වළක්වාගැනීමට හේතුවක් වෙනවා මෙන්ම මහා පුණ්‍ය කර්මයක්ද වනු ඇත.



great 👍👍🤟
ReplyDeleteNiyamai ❤️💪👍
ReplyDeleteNiyamai
ReplyDeleteNiyamai
ReplyDelete👍👍👍
ReplyDelete👌👍👍
ReplyDeleteGood👌👌
ReplyDeleteGrerat Work!
ReplyDelete👍💛👍
ReplyDelete👍👍
ReplyDeleteVeleuble
ReplyDelete👍🤗🤗
ReplyDeleteයළි එවැන්නක් නොවන්නට...
ReplyDelete👍👍
ReplyDeleteSuper
ReplyDeleteBest
ReplyDelete