වියැකී යන සදාචාරය

          සාමාන්‍ය සරල අදහස බලන විට ආචාර යනු හැසිරීමයි.ආචාර ධර්ම යන වචනයෙන් අදහස් කරන්නේ ඊට වඩා පුළුල් වූ අර්ථයකි.මේ අදහසට විරුද්ධ වචනාර්ථය වන්නේ අනාචාර ධර්මයි.මේ වචනය අයහපත් -අසාර්ථක-විෂමාචාර විළිබිය නැති හැසිරීම යන අර්ථ මතුකරයි.ආචාර යන වචනයේ අර්ථය තවදුරටත් වැඩි දියුණු වී සදාචාර යන්න සකස් වී ඇත.සිතීමට ඇති හැකියාව,මනසේ උසස් බවක් තිබීම මිනිසාට ඇති මූලික ලක්ෂණයකි.මේ මනස උසස් බවට පත් කරන්නේ මිනිසාට වෙනත් සතුන්ට වඩා උසස් ලෙස මනස මෙහෙයවීමට ඇති හැකියාව නිසාය.සමාජය තුළ ආචාර ධර්ම දරුවන්ට හුරු කරවීම වැඩිහිටියන්ට පැවරී ඇති මූලික වගකීමකි.මව්පියන් ආගමික ස්ථාන,පාසල පසු ව සමාජය තුළින් ද ආචාර ධර්ම හුරු කරවයි.යහපත් සාමකාමි සමාජයක් ගොඩ නැඟීමේ මූලික අඩිතාලම වන්නේ ඒ සමාජයෙහි දේශපාලනය හෝ ආර්ථිකය හෝ නොව පුද්ගලයින් තුළ පවතින සදාචාරාත්මක සිතිවිලි සමුදාය වේ.

"සමාජ සුභසාධනය සඳහා යහපාලනයක් අත්‍යවශ්‍ය වන තරමට ම ස්ථාපිත සදාචාරයක් ද අත්‍යවශ්‍ය වන්නේ ය.බාහිර පීඩනයන්ගෙන් කැඩි විසිරී යනවාට වඩා බොහෝ විට සමාජයක් විනාශ වී යන්නේ අභ්‍යන්තරයෙනි”

-පැටි්‍රක් ආතර් ඩෙව්ලින් විනිසුරු-

   බිළිඳු අවධියේදී ළඳරුවා තුළ සදාචාරය පිළිබඳ අවබෝධයක් නැත.මළපහ කිරීමේ අවශ්‍යතාවයක් වූ විට ඔහු තමන් සිටින තැන කුමක් වුවත් එය ඔහුට බාධාවක් නොවෙයි.නමුත් වයසින් මුහුකුරා යත්ම ශාරිරිකව මෙන් ම මානසිකව ද ඔහු වැඩෙයි.එවිට සදාචාරය යන සංකල්පනාව පුද්ගල මනසට ලැඟුම් ගනියි.එවිට විළිබිය ඔහුව සදාචාරවත් පුද්ගලයෙකු කරයි.ළමා අවධියේ දී සදාචාරායට ඔබින ගති පැවතුම් ඇතිවීමේ මූලික පදනම වැටෙන්නේ පවුල තුළිනි.ආහාර ගනිමින් කථාබස් හි යෙදීම,ආහාර කටට විසිකරමින් ආහාර ගැනීම,වානරයින් ලෙස ආහාර මුඛයේ පුරවාගෙන ආහාර ගැනීම,පරිභොජනයට සුදුසු ජලයෙහි මළමූත්‍රා පහ කිරීම,ගරු කළ යුත්තන්ට ගරු නොකිරීම ආදී කරුණු මඟින් පුද්ගල සදාචාරය බිඳ වැටෙන්නේ නිතැතිනි.

බුදු දහම තුළ සදාචාර සංවර්ධනයට බලපාන විවිධ සංකල්ප ගෙන හැර දක්වයිග

පන්සිල්

පින් පව්

කුසල් අකුසල්

සත්පුරුෂ අසත්පුරුෂ

ලෝක පාලක ධර්ම

අෂ්ටාංගික මාර්ගය

   ආගම මඟින් පුද්ගලයා තුළ අවබෝධය මෙන් ම සදාචාරය ද ක්‍රමවත් ලෙස ප්‍රගුණ කරයි.ජීවන ගමන වන්දනාවක් ලෙස සලකන ආගම සමාජගත පුද්ගලයාගේ මනස තුළට සදාචාරාත්මක හැඟීම් කා වද්දවයි.මිනිසාට උරුම වී ඇති ආචාර ධර්ම ශක්තිමත් කරන ප්‍රධාන බලවේගයන් ලෙස හිරි ඔතප් යන චෛතසික ද්විත්වය පෙන්වා දිය හැකි ය.හිරි යනු ලජ්ජාවයි.සමාජයේ පිළිකුළ ඇති කරන යමක් කිරීමට ඇති අකමැත්තයි.අනෙක නම් ඔත්තප්ප වේ.එහි අර්ථය නම් සමාජයේ පිළිකුළ ඇති කරන යමක් කිරීමට ඇති බයයි.මේ හිරි ඔතප් යන ලෝක පාලක ධර්ම සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීමට අඳාළ මූලික ආචාර ධර්ම දෙකක් කිවහොත් නිවැරදි ය.පන්සිල්,දස කුසල් යනු තවත් එවැනි ධර්ම සංකල්පයන් ය.

පරපණ නැසීමෙන් වැළකීම

අන්සතු දේ ගැනීමෙන් වැළකීම

කාමය වරදවා හැසිරීමෙන් වැළකීම

බොරු කීමෙන් වැළකීම

කේළම් කීමෙන් වැළකීම

හිස් වචන කීමෙන් වැළකීම

පරුෂ වචන කීමෙන් වැළකීම

අභිජ්ජාවෙන් තොරවීම

ව්‍යාපාදයෙන් තොරවීම

මිථ්‍යා දෘෂ්ඨියෙන් තොරවීම

  මේ සියල්ලෙහි විරුද්ධ පැතිකඩ එනම් අකුසල ක්‍රියා සිත-කය-වචනය යන තුන් දොරින් සිදුවන  ක්‍රියාවන් ය.කායික වාචසික මෙන් ම මානසිකව ද ඇතිවන ව්‍යාකූලතා බෞද්ධ මනෝ විද්‍යාව නමැති දිව්‍ය ඖෂධය මඟින් සුවපත් කරයි.සදාචාර සම්පන්න සමාජයක පොදුවේ දැකගත හැකි ගුණාංග ලෙස,

කරුණාව

අනුකම්පාව

අවංකත්වය

විශ්වාසනීය බව

පරාර්ථකාමි බව 

සාමකාමි බව     

           ආදිය හැඳින්විය හැකි ය.එවැනි පුද්ගලයින්ගෙන් සමන්විත සමාජයක් නිසැකව ම පරමාදර්ශී වනු ඇත.මානව සමාජයේ සුරක්ෂිත පැවැත්ම සහතික කරන මූලික මිනුම් දණ්ඩ සදාචාරය වේ.

  සිඟාලෝවාද සූත්‍රයේ එන සදිසා නමස්කාරය මීට හොඳම නිදසුනකි.සදිසාවට තම යුතුකම් ඉටු කළ විට සෑම පුද්ගලයෙකුගෙ ම අයිතිවාසිකම් සුරැකෙන හෙයින් සෑමදෙනා ම සතුටින් වෙසෙති.එම යුතුකම් තුළ ආර්ථික-දේශපාලනික-සමාජයීය අයිතිවාසිකම් ද අන්තර්ගත වන අතර ම ඒවා සුරැකීම මඟින් පොදුවේ සදාචාරය සුරැකේ.අන්‍යෝන්‍යය යුතුකම් ජාලයක් තුළ පුද්ගලයා රඳවන ලද්දේ පුද්ගලයා විෂයෙහි සමාජ සන්දර්භය අතිශයින් වැදගත් වන හෙයිනි.පුද්ගලයා සදාචාර සම්පන්න ගුණ යහපත්කම්වලින් වැඩෙන්නේ තමා ජීවත් වන සමාජය වෙත හිතකර හා නිවැරදි ප්‍රතිචාර දැක්වීම තුළිනි.මිනිසාට මුහුණ පාන්නට සිදු වී ඇති මෙම අසීරු අවස්ථාවට බෞද්ධ පිළිතුරු කුමක්විය හැකි දැයි මිනිසා උන්මන්තයෙකු බවත් අතෘප්තියෙන් හෙවත් දුකින් පෙළෙන්නෙකු බවත් පැහැදිලි කරුණකි.”සබ්බේ පෘථග්ජනා උන්මන්තකා" 

    නූතන මානවයා දිවි ගෙවන්නේ ඉතා සංකීර්ණ වූ සමාජ වපසරියක ය.සංවර්ධනය දියුණුව ළඟා කර ගැනීමට අසීමිත බලාපොරොත්තු ඇති ව අභිමථාර්ථයන් රැසක් සාධනය කරගැනීම විෂයෙහි අරගලයක නිරත වී සිටී.එහිදී මනසේ ඇතිවන තණ්හාකාරී සිතිවිලි නිසා මව පියා දරුවන් අමතක වී යයි.පවුල් සංස්ථා බිඳ වැටෙයි.ළමා නිවාස-වැඩිහිටි නිවාස බිහිවන්නේ එහි එක් ප්‍රතිඵලයක් ලෙසිනි.මිනිස් ඝාතන-වංචා හා දූෂණ-ළමා අපයෝජන හා අපචාර ආදී සදාචාර විරෝධි ක්‍රියාවන් සියල්ල ඇතිවන්නේ මනසේ ඇතිවන ක්‍රියාකාරීත්වයට අනුවය.එය සදාචාරය නමැති පළිහ පුද්ගල මනස නමැති ඇට මිඳුළු පසාරු කරගෙන යාමේ ප්‍රතිඵලයක්ද යන වග උගහට කරුණකි.ශ්‍රී ලාංකේය සංස්කෘතියට සභ්‍යත්වයට ගරු කරමින් විළි වසා ගැනීම අරමුණු කරගෙන පුද්ගලයා වස්ත්‍ර භාවිතා කළ ද වෙනස් වන සමාජ රටාව සමඟ තම සිතිවිලි චර්යාව ආදිය හැඩ ගස්වා ගෙන සදාචාරය අභියෝගයට ලක් කිරීම සංවේගාත්මක කරුණකි.පුද්ගලයා සමාජය දෙස මනසින් දකින දෘෂ්ඨිය අනුව අන් සියල්ල දෙස බලයි.සැමවිට ම නිවැරදි මනසින් ලෝකය දෙස බැලීමට පුද්ගලයා හුරු වීම ඉතා වැදගත් ය.

අසාරේ සාර මතිනෝ - සාරේ චාසාර දස්සිනෝ

තේසාරං නාධි ගච්ඡන්ති - මිච්ඡා සංකප්ප ගෝචරා

සරු දෙය නිසරු දෙය හැටියටත් නිසරු දෙය සරු දෙය හැටියටත් දකින පුද්ගලයා සරු දෙයක් නොලබති.

සාරංච සාරතො ඥත්වා - අසාරංච අසාරතෝ

තේසාරං අධි ගච්ඡන්ති - සම්මා සංකප්ප ගෝචරා

සරු දෙය සරු දෙය හැටියටත් නිසරු දෙය නිසරු දෙය හැටියටත් දකින පුද්ගලයා සරු දෙයක්ම ලබති.

          දුක අඩු කරගත හැක්කේ මමත්වය ඉදිරියට ගෙන දේවල් පාලනය කිරීමෙන් නොවේ.අපට හමුවන හැම අසීරුතාවක්ම කළකිරීමක් ම තමන්ට අවබෝධයක් ලබාගැනීමට අවස්ථාවක් උදාකර ඇති බව තේරුම් ගත යුතුයි.ලෝකය වෙනස් කිරිම තමාගේ කාර්යයක් නොවන බව පුද්ගලයා දැනසිටිය යුතුය.මම යනු අන් යමක් නොව මනසින් දෙයක් බවට පත්කරගත් දේවල්. තරහ මරහ-අබ්බැහිකම්-ඇලුම් කිරීම්වල දිගින් දිගටම එල්ලී සීටිමේ දුකම බව තේරුම් ගත යුතුයි.මෙය තේරුම් ගත් පුද්ගලයාට නිරවුල් සැහැල්ලු මනසකින් යුතු ව සදාචාරවත් සම්පන්න පුද්ගලයෙකු ලෙස සමාජයේ ජීවත් විය හැකි ය.

වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් පුරා මේ රටේ ජනතාව ගොඩ නැගූ අභිමානය වර්තමාන පරපුර විසින් බිමට සමතලා කරමින් තිබේ.වැවෙන් ඇලෙන් දිය දෝතක් බීමේදී පවා වැවට ඇළට පින් දුන් මිනිසුන් සිටි මෙරට අද වන විට සුළු සිද්ධියකට පවා කැති පොලු අමෝරා ගන්නා පහත් ම තත්වයට වැටී ඇත.උත්තරීතර යැයි නම් ලද පාර්ලිමේන්තුව වත්මනෙහි පොර පිටියක් ලෙස හංවඩු ගසාගෙන හමාරය.සංග්‍රහශීලි ජනතාවක් සිටින රටක් ලෙසට ලෝකය පුරාම අතීතයේ දී ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට පත් වූවත් වත්මනෙහි ආහාර ද්‍රව්‍යවලට වස විස එකතු කරන ලෝකයේ ප්‍රමුඛතම රටක් බවට මෙරට පත් ව ඇත.හොඳම දේ දරුවන්ට බවට ජනවහරේ කතාවක් පැවතුනත් තම රූපය ගැන සිතා සිය දෙතනට එරෙනා කිරි පොදවත් ලබා නොදෙන මවුවරුන් පිරිසක් අද බිහි වී තිබේ.පොත පත කියවීම මිනිසා සම්පූර්ණ කරන බවට සඳහන් වූවත් බොහෝ දරුවන්ට අතට ලැබී ඇත්තේ ජංගම දුරකථනයයි.මෑතකදී මුහුණු පොත හරහා කුඩා දරුවන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු ආකාරය සිහිපත් කරන්නේ කණගාටුවෙනි.තාක්ෂණයේ දියුණුවේ රේඛාව ඉහළට එසවෙත්ම රටේ සදාචාරය පහත වැටෙන්නේ ඇසිපිය ගහන ක්ෂණයකිනි.සමාජයක් සැම විටම සංස්කෘතිය සදාචාරය ඇගයිය යුතුය.රටක් ආර්ථික වශයෙන් පමණක් දියුණු වී පලක් නැත.රටකට අවශ්‍ය වන්නේ යහපත් පුරවැසියන්ය.එමගින් රටක සදාචාරය නිතැතින් ම ආරක්ෂා වේ.



 

Comments

  1. ලස්සන තේමාවක්

    ReplyDelete
  2. I agree with you 100%. Our society is destroyed by the politicians. Along with them, some of our civilians also responsible for that. Whether you all of them will agree with me or not, I'm saying that, we need a Dictator Leader to protect our Tradition, Customs, Buddhism. Because only the Dictator Leader can be able to establish tough & ruthless principles & rules to this very much corrupted society to bring it to the right path. Some people have unnecessary fear that a Dictator will be harmful to our country. They fear because they are the people who involve all those corruptions & infidelity. Ancient kings all of them were dictators including our Greatest King Raawana. Democracy is good. But it's not matching to Sri Lanka. All these unnecessary problems occurred because our some of leaders followed British Political System. Parliament, High Court the all are corrupted. The right person who becomes the Dictator of Sri Lanka & all 3 Forces can rule this country. No need parliament or court.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog